ආසියානු කුසලානයේ සුන්දර ඉතිහාසය

ආසියානු කුසලානයේ සුන්දර ඉතිහාසය

ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යනු අපට සුන්දර මතක සටහන් රාශියක්‌ එක්‌වී ඇති තරගාවලියකි. 1984 වසරේ ආරම්භ වී තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාව පස්‌වතාවක්‌ ආසියානු ශූරයන් ලෙස අභිෂේක ලබා සිටියි. ඉන්දියාවද ශ්‍රී ලංකාවේ පරිදිම පස්‌වතාවක්‌ ආසියානු ශූරතාව දිනාගෙන තිබෙන අතර පාකිස්‌තානය දෙවතාවකදී පමණක්‌ ශූරතාව දිනාගෙන තිබේ.

 

 

ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ මෙතෙක්‌ පවත්වා ඇති තරගාවලි 12 ම පන්දුවාර 50 තරගාවලි වශයෙන් පැවැත්වුණද මෙවර තරගාවලිය විස්‌සයි/20 තරගාවලියක්‌ ලෙසින් පැවැත්වීම සුවිශේෂී වනු ඇත.

 

විස්‌සයි/20 ලෝක කුසලාන තරගාවලිය ලබන මාර්තු මසදී පැවැත්වෙන හෙයින් ඒ සඳහා පෙර සූදානමක්‌ ලෙස මෙවර ආසියානු කුසලාන තරගාවලිය යොදා ගැනීමට ආසියානු ක්‍රිකට්‌ බලධාරීන්ගේ තීරණය වී තිබේ. කෙසේ වෙතත් මින් ඉදිරියට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක්‌ද එසේත් නැතහොත් විස්‌සයි/20 තරගාවලියක්‌ද යන්නතීරණය වන්නේ එම තරගාවලියට ආසන්නතම පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ස්‌වභාවය අනුවය.

 

ආසියානු කුසලාන තරග ඉතිහාසයේදී තරගාවලිය නියෝජනය කරන ලද රටවල් සමස්‌ථයක්‌ ගෙන බැලීමේදී වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක්‌ වාර්තා කරමින් වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියි. ශ්‍රී ලංකාව 1984 වසරේ සිට මේ දක්‌වා ආසියානු කුසලාන තරග 48 කට ක්‍රීඩා කොට තිබෙන අතර ඉන් තරග 34 ක්‌ ජය ගැනීමට සමත්ව සිටියි.

 

පරාජයන් 14 ක්‌ පමණක්‌ ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් වද්දී ජයග්‍රාහී ප්‍රථිශතය 70% හැත්තෑවකට ආසන්න අගයක්‌ ගෙන තිබේ. ශ්‍රී ලංකාවට පසු වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක්‌ වාර්තා කිරීමට සමත්ව ඇති රට වන්නේ ඉන්දියාව වුවත්, ජයග්‍රාහී ප්‍රථිශතය ගෙන බැලීමේදී ඉන්දියාවට වඩා පාකිස්‌තානය ඉදිරියෙන් පසුවීම සුවිශේෂී වෙයි. ඉන්දියාව අවස්‌ථා 26 කදී ජයග්‍රහණ වාර්තා කරගෙන තිබෙන අතර පාකිස්‌තානය අවස්‌ථා 24 කදී ජයගෙන තිබේ