බංග්ලාදේශය ලංකාව පරදයි

බංග්ලාදේශය ලංකාව පරදයි

Sri Lanka cricketers celebrate after winning their match against United Arab Emirates at the Asia Cup T20 (Twenty20) cricket tournament at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on February 25, 2016. / AFP / MUNIR UZ ZAMAN (Photo credit should read MUNIR UZ ZAMAN/AFP/Getty Images)

ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ පස්‌වැනි තරගය ලෙසින් සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (28 දා) පැවැති විස්‌සයි/20 තරගයෙන් වත්මන් ආසියානු කුසලාන හිමිකරුවන් බවට පත්ව සිටින ශ්‍රී ලංකා පිල ලකුණු 23 ක පරාජයකට ඇද දමමින් පෙරැළිකාර ජයක්‌ වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත්වූහ.

මෙම ජයග්‍රහණයට ප්‍රථම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්‌සයි/20 තරග 4 ක්‌ පවත්වා තිබෙන නමුත්, ඒ එකම අවස්‌ථාවකදී හෝ ශ්‍රී ලංකාව පරාජය කිරීමට බංග්ලාදේශ පිල අපොහොසත්වී තිබේ. ඒ අනුව ඊයේ වාර්තා කරන ලද අදාළ තරග ජය බංග්ලාදේශ ක්‍රිකට්‌ ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක්‌ වශයෙන් සටහන් වනු ඇත.

මීර්පූර්හි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම බැඳ තැබූ බංග්ලාදේශ පන්දු යවන්නෝ නියමිත පන්දුවාර 20 අවසනදී ශ්‍රී ලංකාව ලකුණු 124 කට සීමා කරද්දී පිතිකරුවන් 8 ක්‌ම දවා ගැනීමට සමත්වී සිටියහ.

ජයග්‍රාහී බංග්ලාදේශ කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ (හතුරු) මහතා කටයුතු කරන ලද ඒ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු ලොව ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු ලබන ප්‍රධාන රටවල් වන දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්‌තාන යන රටවලට එරෙහිව කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වී සිටියි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඊයේ කිසියම් දුරකට සාර්ථක වූ එකම පිතිකරුවන් දෙපල බවට පත්වූයේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ ෂෙහාන් ජයසූරිය යන දෙපළ පමණකි.

එක පිට කඩුලු 2 ක්‌ දැවී ගියද නායකයකු ලෙස ලබා සිටින අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ධෛර්යවන්ත ලෙස පිත්ත හැසිරවීමට මැතිව්ස්‌ උත්සාහ ගත් නමුත්, සෙසු පිතිකරුවන් ලැබිය යුතු සහයෝගය ඔහුට නොලැබිණ.

මිඩ් ඕෆ් කලාපයේ සිට ලෝන් ඕෆ් කලාපය දක්‌වා දිව යමින් සෞම්‍ය සර්කාර් රැකගන්නා ලද සුපිරි උඩපන්දුව හේතුවෙන් ලකුණු පුවරුව 20 ක්‌ව සටහන්ව තිබියදී ඩිල්ෂාන් (12) දැවී ගිය නමුත් එයින් නොසැලුණු චන්දිමාල් අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ෂෙහාන් ජයසූරිය සමඟ එක්‌ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 56 ක්‌ එක්‌ කළහ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී බංග්ලාදේශ පන්දු රකින්නන් විසින් උඩපන්දු 2 ක්‌ සහ දුවද්දී දවා ගැනීමට තිබූ අවස්‌ථාවක්‌ ගිලිහී නොයන්නට තත්ත්වය මීට නින්දාසහගත තත්ත්වයකට හැරෙනු ඇත. පන්දු යවන්නන් ලෙසින් සාර්ථක වුණු අමීන් හොසෙන් ලකුණු 34 කට කඩුළු 3 ක්‌ දවා ගනිද්දී ශකීබ් අල් හසන් ලකුණු 21 කට කඩුලු 2 ක්‌ දවාගත්තේය.

පිතිකරුවන්ට යෝග්‍ය යෑයි කියෑවුණු තණතීරුවේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ මෂ්රෆ් මොර්ටාසා තීරණය කළද පළමු පන්දුවාරයේ සිටම ග්‍රහණය වැඩි කරමින් පන්දු යෑවූ ඇන්ජලෝ මැතිව්ස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශ පිලේ පළමු කඩුලු 3 ම ලකුණු 26 කදී බිඳ දැමූහ.

අනපේක්‌ෂිත පීඩනයකට යොමු වූ බංග්ලාදේශ පිල වෙනුවෙන් පීඩනය කරපින්නාගෙන පිතිකරණයේ යෙදුණු සබිර් රෙහ්මන් සහ අත්දැකීම් පරිපූර්ණ ශකීබ් අල් හසන් පන්දු 67 කදී වේගවත් ලකුණු 82 ක්‌ ලබා බංග්ලාදේශ පිල වැටී තිබූ අවදානම් තත්ත්වයෙන් ගොඩගත්හ.

මෙහිදී වැඩිම දායකත්වයක්‌ දැක්‌වූ සබීර් රෙහ්මන් සිය ලකුණ 80 ක ඉනිම සඳහා පන්දු 54 කට පමණක්‌ මුහුණ දුන්නේය. ක්‍රීඩකයන් නොමැති ස්‌ථාන වෙත මැනවින් පන්දුව ස්‌ථානගත කළ සබිර් සිය අගනා ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් හැඩ කළේය. අර්ධ ශතකය ලබා ගැනීමට එල්ල කරන ලද පහර මිඩ් විකට්‌ කලාපයේ පන්දු රකිමින් සිටි කපුගෙදර අතට උඩපන්දුවක්‌ ලෙස ඇදී ගියද එය ඔහු අතින් ගිලිහී ලකුණු 6 ක්‌ දක්‌වා පරිවර්තනය නොවන්නට සබීර්ගේ ඉනිම ලකුණු 48 කදී අවසන් වන්නට තිබිණි.

ආබාධිත තත්ත්වය යළිත් මතුවීම මත ලසිත් මාලිංග මෙම තරගයට ක්‍රීඩා නොකළ බැවින් ඒ වෙනුවට කණ්‌ඩායම මෙහෙයවන ලද ඇන්ජලෝ මැතිව්ස්‌ බංග්ලාදේශ පිලේ දැවී ගිය පලමු කඩුලු 3 ටම දායකත්වය ලබාදීම කැපී පෙනුණි.

මාලිංගගේ ස්‌ථානය සඳහා කණ්‌ඩායමට පැමිණ සිටි තිසර පෙරේරාට එක්‌ පන්දුවාරයක්‌ පමණක්‌ යොමු කරන ලද නමුත්, දුෂ්මන්ත චමීර කණ්‌ඩායමේ වැඩිම කඩුලු ලාභියා වෙමින් ලකුණු 30 කට කඩුලු 3 ක්‌ බිඳ හෙලීය.