බංග්ලාදේශය ලංකාවේ මැද පෙළට පහර දුන් හැටි

බංග්ලාදේශය ලංකාවේ මැද පෙළට පහර දුන් හැටි

ඉදිරි පෙළ පිතිකරුවන් විසින් සාර්ථක ආරම්භයක්‌ ලබාදුන්නද මැද පෙළින් පන්දුවට පහර දුන් පිතිකරුවන්ට කඩුලු ආරක්‌ෂා කර ගැනීමට නොහැකි වීම ආධුනික බංග්ලාදේශය සමග වූ තරගයේ පරාජයට මුල් වූ බව එම තරගයේ නායකයා ලෙස කටයුතු කරන ලද ඇන්ජලෝ මැතිව්ස්‌ සඳහන් කර සිටියි.

 

තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස්‌ පළ කර සිටි මැතිව්ස්‌ වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින්, එම තත්ත්වය මත ඉනිම මැද කාල සීමාවේදී විශාල පහරවල් කරා යැමේ අවස්‌ථාව පිතිකරුවන්ට අහිමි වූ බවත්, එය ජයග්‍රහණය සඳහා රඳවාගත යුතු දළ ලකුණු වේගය ඉහළ යැමට සෘජුවම බලපෑ බවත් සඳහන් කර සිටියේය.

 

”ඉනිමේ මැද භාගය තමයි අපේ ජයග්‍රහණයේ හරහට හිටියේ. විශේෂයෙන්ම සාර්ථක ආරම්භයක්‌ ලබාගෙන තිබියදීත් අපේ පරාජයට හේතුවුණේ මැද භාගයේදී ඉක්‌මනින්ම කඩුලු දැවී යැම. ඉක්‌මනින් කඩුලු දැවී යැම නිසා අපිට ඉනිම මැදදි විශාල පහර (හයේ සහ හතරේ පහර) එල්ල කිරීමට නොහැකි වුණා. ඒ වගේම තමයි අපේ පිතිකරුවන් එල්ල කරන ලද වැරදි පහර. අවාසනාවකට ඒ වෙලාවේ අපි ගත්ත සියලු තීරණ වැරදුණා” යි මැතිව්ස්‌ සඳහන් කරයි.

 

ශ්‍රී ලංකා ඉනීමේ 11 වැනි පන්දුවාරය ආරම්භ වන විට කඩුලු 2 කට ලකුණු 76 ක්‌ වශයෙන් ශ්‍රී ලංකා පිල කිසියම් ස්‌ථාවරත්වයක්‌ ගොඩනඟා ගැනීමට සමත්ව සිටියේය. එහෙත් එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ සිට 17 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව දක්‌වා වූ කාල සීමාවේදී එකම පිතිකරුවකු හෝ හතරේ පහරක්‌ හෝ හයේ පහරක්‌ එල්ල කිරිමට අපොහොසත් වීම මැතිව්ස්‌ගේ ප්‍රකාශය සාධාරණීයකරණයට හොඳම නිදසුන වේ. එමෙන්ම අදාළ පන්දුවාර සංඛ්‍යාව ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනකුම දැවීයැමද 11 වැනි පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 8 ක දළ වේගය 17 වැනි පන්දුවාරය වන විට 15.33 දක්‌වා වැඩිවීමට සෘජුවම බලපා තිබේ.

 

මේ අතර පන්දු යෑවීමේදී දුෂ්මන්ත චමීරව කැඳවීම 14 වැනි පන්දුවාරය දක්‌වා පමා කළේ කුමන කරුණක්‌ මතද යන්න මාධ්‍යයෙන් මෙහිදී මැතිව්ස්‌ගෙන් ප්‍රශ්න කරන ලදුව, ”චමීරගේ පන්දු යෑවීම ඉතාම විශිෂ්ටයි. නමුත් ඉනිම මැදදි රංගන සහ ජයසූරිය දෙදෙනා ඉතාමත් හොඳින් පන්දු යෑව්වා. විශේෂයෙන්ම තණතීරුවත් ඒ වෙලාවේ දඟ පන්දු යවන්නන්ට දායකත්වයක්‌ දැක්‌වුව නිසා ඔවුන්ට හතරක්‌ හෝ හයක්‌ ගහනවා කියන්නෙ ටිකක්‌ අමාරු වැඩක්‌. ඒ වගේමයි මේ තරගයට මාලිංග ක්‍රීඩා නොකළ නිසා අවසන් පන්දුවාර කීපය යෑවීම සඳහා දුෂ්මන්තගේ පන්දුවාර කීපය මම ඉතිරි කරගත්තා”යි මැතිව්ස්‌ පැවැසීය.

 

14 වැනි පන්දුවාරයේදී සිය පන්දු යෑවීම ආරම්භ කළ චමීර පන්දු 54 කදී ලකුණු 80 ක්‌ ලබා තරගයේ වීරයා බවට පත්වුණු සබීර් රෙහ්මාන්, ශකීබ් අල් හසන් සහ නුරුල් හසන්ගේ කඩුලු දවාගන්නා ලද්දේ ප්‍රතිවාදීන්ට ලකුණු 30 ක්‌ පමණක්‌ ලබාදෙමිනි.

 

මේ අතර බංග්ලාදේශ පිල හමුවේ ලද අනපේක්‌ෂිත පරාජයත් සමග මෙවර ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්‌ බවට පත්වී තිබේ. ඒ අනුව ලබන 06 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු තබා ගැනීමට නම් ප්‍රබල ඉන්දීය කණ්‌ඩායම සමග අද පස්‌වරුවේ පැවැත්වෙන තරගය මෙන්ම ලබන 04 වැනිදා පාකිස්‌තානය සමග පැවැත්වෙන තරගයේ ජය වාර්තා කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වනු ඇත.

 

‘තරගාවලියේ ඉදිරිය දිහා බැලුවහම ඉතාම අභියෝගාත්මකයි. ඉන්දියාව කියන්නේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනු ලබන කණ්‌ඩායමක්‌. නමුත් ඉදිරියට යන්න නම් අපි ඒ සියලු අභියෝග අසීරුවෙන් හෝ ජයගත යුතුයි. ඒ නිසා මේ තරගයේදී හොඳින්ම ක්‍රීඩා කළ යුතු වෙනවා”යි අද තරගය පිළිබඳව මැතිව්ස්‌ පවසයි.

 

ප්‍රසාද ලකුණු සටහනට අනුව මෙතෙක්‌ සහභාගිවුණු තරග 2 න් 2 ම ජයගෙන සිටින ඉන්දීය කණ්‌ඩායම පෙරමුණේ පසුවන අතර තරග 3 කදී ජයග්‍රහණ 2 ක්‌ වාර්තාකරගෙන සිටින සත්කාරක බංග්ලාදේශ පිල දෙවැනි ස්‌ථානය දක්‌වා උසස්‌වීම් ලබා සිටියි. අදාළ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව තෙවැනි ස්‌ථානයේ සිටින බැවින් අද තරගය පරාජයට පත්වුවහොත් අවසන් මහ තරග අවස්‌ථාවට සුදුසුකම් ලැබීම සිහිනයක්‌ පමණක්‌ බවට පත්වනු ඇත.

 

විස්‌සයි/20 නායක ලසිත් මාලිංගගේ ආබාධිත තත්ත්වය තවමත් සුව අතට හැරී නොතිබීම නිසා අද තරගයේදී ඔහුගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවට බොහෝ දුරට අහිමිවනු ඇතැයි කණ්‌ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන් වේ. ඉන්දියාව වැනි ප්‍රබල රටක්‌ සමග තරග කිරීමේදී මාලිංග වැනි ක්‍රීඩකයකු නොමැති වීම පිරිමසාගත නොහැකි අඩුපාඩුවකි.

 

මාලිංගට අද තරගය මෙන්ම ලබන 04 වැනිදා පාකිස්‌තානය සමග පැවැත්වීමට නියමිත තරගයටද ක්‍රීඩා කිරීමේ අවස්‌ථාවක්‌ නොමැති බවත්, කෙසේ හෝ ලෝක කුසලාන තරගාවලිය වන විට සිය ආබාධිත තත්ත්වය සුව අතට හරවා ගැනීමට මාලිංග මෙන්ම කණ්‌ඩායමේ පුහුණු අංශය වැඩි අවධානයක්‌ යොමු කර සිටින බවද සඳහන් වේ.