අපි රුපියල් බිලියන 647ක් ණයයි

අපි රුපියල් බිලියන 647ක් ණයයි

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වී ඇත්තේ ලෝක ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදී ඇති ගැටලු පිළිබඳවය. එම ගැටලුවලට අමතරව ශ්‍රී ලංකාව තුළද ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳවය. විශේෂයෙන්ම පසුගිය කාලවකවානුව තුළ විවිධ වැඩකටයුතු සඳහා පසුගිය රජය විසින් ලබාගෙන ඇති විදේශ ණය සම්භාරය පිළිබඳවය. මේ වනවිට රජය විසින් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණයේ වටිනාකම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 74.9% ක් ලෙස වාර්තා වී තිබේ. මෙය ඉතා ඉහළ ණය ප්‍රමාණයකි.

 

රජය විසින් දක්වා ඇති අන්දමට වර්ෂ 2015 අගභාගය වනවිට රජයේ මුළු ණය ප්‍රමාණය රු.ට්‍රිලියන 8.4 කි. එසේත් නැත්නම් රු.බිලියන 8,475 කි. මෙම ණය ලබාගත්තා පමණක් නොව, එය පොලිය සමගද ගෙවිය යුතු වේ. මේ වසර වනවිට ගෙවිය යුතු ණය රු.බිලියන 647ක් වන අතර, ගෙවිය යුතු පොලිය රු.බිලියන 562කි. ඒ අනුව, මේ වසරේ ගෙවිය යුතු මුළු ණය හා පොලී මුදල රු.බිලියන 1,209 කි.

 

ලෝක ආර්ථික අර්බුදය හමුවේද බැට කෑම

 

මේ වනවිට රජය මුහුණදී සිටින්නේ මේ ණය කෙසේ ගෙවා දමන්නේ දැයි යන අර්බුදයටය. ණය ගෙවා දැමීමට අමතරව, රජයට විවිධ අර්බුද රැසකට මුහුණදීමට සිදුව ඇත. ලෝකයේ තෙල් මිල විශාල වශයෙන් පහළ වැටීම එක් අර්බුදයකි. එමෙන්ම, ලෝකයේ අමුද්‍රව්‍ය මිල ගණන් නොකඩවා පහළ වැටීමද තවත් අර්බුදයකි.

 

ඇමෙරිකාව විසින් පසුගිය දෙසැම්බර් මාසයේ තම පොලී අනුපාත 0.25% කින් ඉහළ දැමීම තවත් අර්බුදයකි. එමෙන්ම, යුරෝපයේ ඇති වී තිබෙන සංක්‍රමණිකයන්ගේ ගැටලුව මෙන්ම, මැදපෙරදිග ඇතිවී තිබෙන IS ත්‍රස්තවාදී ගැටලුව තවත් හිසරදයකි. වර්තමානයේ ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවල් සමග නිබඳවම සම්බන්ධ වී ඇති හෙයින් මෙම කාරණා සියල්ලම රටේ ආර්ථිකයටද, රජයේ ආදායමටද විශාල බලපෑමක් එල්ල කරයි.

 

මෙම කරුණු කාරණා කිහිපයට අමතරව චීනයේ ඇති වී තිබෙන අර්බුදය අපේ ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල කරමින් පවතී. මේ ගැටලු සියල්ල අප හට සමහර අවස්ථාවලදී සෘජුවම මෙන්ම, සමහර අවස්ථාවලදී වක්‍රාකාරවද බලපෑම් එල්ල කරනු ලබයි. වර්ෂ 2008 දී ලෝකයේ ඇති වූ ආර්ථික අර්බුදය වැනි ආර්ථික අර්බුදයක් නැවත දළුලා වැඩෙමින් පවතී. මෙයින් අපටද ගැලවීමක් නොමැත.

 

ආදායම් උපයා ගැනීමට මෙවලම් කිහිපයක්

 

මෙම කරුණු කාරණා සලකා බැලීමේදී රජයට ප්‍රධාන අභියෝග 2ක් පවතී. ඉන් ප්‍රධාන කරුණ නම්, පසුගිය කාලවලදී ලබාගෙන ඇති අති මහත් ණය ප්‍රමාණය ගෙවා දැමීය. දෙවැනි කාරණාව නම්, ලෝක ආර්ථික අර්බුදයට මුහුණදීමය. එම කාරණා පසුගිය සති කිහිපය තුළ රජයේ ඉහළ මට්ටමින්ම සාකච්ඡා වී ඇත.

 

රජයට මේ අවස්ථාවේ ආදායම අත්‍යවශ්‍යය. එහිදී, ආදායම් උපයාගැනීම සඳහා රජය විවිධ මෙවලම් කිහිපයක්ම හඳුන්වාදීමට සූදානම් වන බව වාර්තා වේ. ඉන් ප්‍රධාන කරුණක් ලෙස වාර්තා වී ඇත්තේ එකතු කළ අගය මත බද්ද (VAT) 15% ක මට්ටමට ගෙන ඒමය. තවත් කාරණාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඉහළ ආදායම් ලබන්නන්ගෙන් ඉහළ මට්ටමක ආදායම් බද්දක් ලබාගැනීමය. එමෙන්ම, ඉහළ ආදායම් ලබන සමාගම්වලින්ද ඉහළ ආදායම් බද්දක් ලබාගැනීමට සූදානම් වන බව වාර්තා වේ. තවදුරටත් සාකච්ඡාවට බඳුන්වී ඇති කාරණා කිහිපයක් වන්නේ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සහ ප්‍රාග්ධන ලාභ බද්දයි.

 

එම බදු සියල්ලම මහජනයා සහ සමාගම් සතුටු කරන බදු නොවේ. එහෙත්, මේ අවස්ථාවේදී මෙම බදු ඉදිරිපත් කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් රජයට නොමැති බව පෙනේ. රජය කිනම් ආකාරයකින් හෝ තම ආදායම ලබාගත යුතු තත්ත්වයක් උද්ගතව පවතී.

 

ප්‍රාග්ධන ලාභයටත් බදු අය කිරීමේ සූදානමක්

 

මෙම බදුවලින් සැලකිය යුතු බලපෑමක් ඇතිකළ හැකි එක් බද්දක් වන්නේ ප්‍රාග්ධන ලාභ බද්දයි. ප්‍රාග්ධන ලාභ බද්ද යනු කිසියම් ආයෝජනයක මුදල් යොදවා ලබාගන්නා ප්‍රතිලාභයෙන් බද්දක් ගෙවීමය. උදාහරණක් ලෙස කොටස් වෙළෙඳ පොළේදී නම්, කොටස් මිලට ගත් මිල සහ කොටස් විකිණූ මිල අතර වෙනස ප්‍රාග්ධන ලාභයයි. අඩු මිලකට කොටස් මිලදී ගෙන ඉහළ මිලකට කොටස් විකිණූ පසු ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභයයි. රු.10/- කට කොටසක් මිලදී ගත් පුද්ගලයෙක්, එම කොටස රු.15/- කට විකුණුවහොත් ඉන් ලැබෙන රු.5/- ක ලාභය, ප්‍රාග්ධන ලාභය ලෙස හැඳින්වේ. වර්තමානයේ මෙම ප්‍රාග්ධන ලාභය බද්දෙන් තොර වේ. වාර්තා වන ආකාරයට රජය බලාපොරොත්තු වන්නේ මෙම ප්‍රාග්ධන ලාභය සඳහා බද්දක් අය කිරීමටය.

 

 

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇණීම

මෙසේ ප්‍රාග්ධන ලාභ සඳහා බද්දක් අය කිරීම තුළින් බොහෝ ගැටලුවලට මුහුණපෑමට සිදුවිය හැකිය. උදාහරණයක් වශයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වනවිට, මෙම වසරට 10% ක් පමණ පහළ වැටී ඇත. ඒ සඳහා අපි ඉහත සඳහන් කළ සියලුම විදේශීය කාරණා සහ දේශීය කාරණා බලපා ඇත.

 

මෙම වසර ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් සඳහා එතරම් සුබදායී වසරක් ලෙස වාර්තා වී නැත. කෙසේ වෙතත්, අනෙකුත් රටවල කොටස් වෙළෙඳ පොළවල් හා සසඳන විට කොළඹ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම ප්‍රශස්ත මට්ටමක පවතී. උදාහරණයක් වශයෙන් මේ වසරට චීනයේ කොටස් වෙළෙඳ පොළ 24% කින් පමණ පහළ වැටී ඇත. ඒ අනුව, ප්‍රාග්ධන බද්දක් නැවත හඳුන්වාදීම කොටස් වෙළෙඳ පොළට නම් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇණීම වැනි කාරණයකි. එය සෘජුවම කොටස් වෙළෙඳ පොළට බලපානු ඇත.

 

උපායශීලී නොවන ආයෝජන විකුණා දැමීම

 

එනමුදු, මෙම අවස්ථාවේදී රජයට මුදල් අවශ්‍ය නම්, කොටස් වෙළෙඳ පොළ හරහා මුදල් ලබාගැනීමට අවස්ථාවක් තිබේ. මේ වසර සඳහා ඉදිරිපත් කළ රජයේ අයවැය මගින්ද මේ පිළිබඳ අදහස් දක්වා තිබේ. අයවැය යෝජනා මගින් සඳහන් කරනු ලැබුවේ සමහර සමාගම්වල රජය විසින් සිදුකර ඇති උපායශීලී නොවන ආයෝජන කොළඹ කොටස් වෙළෙඳ පොළ හරහා විකුණා දමන බවය. කොටස් වෙළෙඳ පොළ හරහා විකුණා දැමීම යනු රජය එම කොටස් මහජනයා වෙත ලබාදීමය.

 

එම අයවැය යෝජනා මගින් සඳහන් කර ඇති සමහරක් සමාගම් වන්නේ වෝටර්ස් එජ්, හොටෙල් ඩිවලොපර්ස් (හිල්ටන්), හයට් රෙසිඩන්සීස්, ලංකා හොස්පිට්ල් (ඇපලෝ), ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්, මොබිටෙල් යන සමාගම්ය. රජය බලාපොරොත්තු වන්නේ එම සමාගම්වල තමන් සතු කොටස් කොටස් වෙළෙඳ පොළ හරහා අන්සතු කර මුදල් ලබාගැනීමටය.

 

එනමුදු, මෙම සමාගම්වලට අමතරව, රජය සතුව තවත් විශාල සමාගම් ප්‍රමාණයක් පවතී. උදාහරණයක් වශයෙන් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික රක්ෂණ සංස්ථාව වැනි ආයතන ලාභ ලබන රජයට අයත් ආයතනයන්ය.

 

10% ක කොටස් අයිතියක් යනු පෞද්ගලීකරණයක්ද?

 

ඒ අනුව, රජයට මුදල් අවශ්‍ය නම් රජය විසින් සිදුකළ යුතු වන්නේ අලාභ ලබන රාජ්‍ය ආයතනවල රජය සතු කොටස් විකුණනවා වෙනුවට, ලාභ ලබන රාජ්‍ය ආයතනවල යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළ වෙත යොමු කිරීමය. එය කිසිසේත්, පෞද්ගලීකරණය කිරීමක් නොවනු ඇත. උදාහරණයක් වශයෙන් ලංකා බැංකුවේ මුළු කොටස්වලින් 90% ක් රජය වෙත තබාගෙන 10% ක් කොටස් වෙළෙඳ පොළ හරහා මහජනයාට නිකුත් කළ හැකි නම්, රජයට විශාල ආදායමක් උපයාගත හැකිය.

 

ලංකා බැංකුව පමණක් නොව මහජන බැංකුව, රක්ෂණ සංස්ථාව සහ අනෙකුත් ප්‍රබල රාජ්‍ය ආයතනවල කොටස්, කොළඹ කොටස් වෙළෙඳ පොළ හරහා මහජනයාට නිකුත් කළ හැකිය. මෙහිදී ඇතිවන ප්‍රධාන ගැටලුව නම් සමහර පුද්ගලයන් මෙය පෞද්ගලීකරණය කිරීමක් ලෙස හෝ රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශයට ලබාදීමක් හෝ විකිණීමක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කිරීමට පෙළඹීමය.

 

මුළු කොටස්වලින් 90% ක් රජයට තබාගෙන 10% ක් මහජනයාට නිකුත් කළහොත් එම රාජ්‍ය ආයතනයේ වැඩි අයිතියක් රජය සතු වන අතර, මහජනයා සතු වන්නේ 10% ක පමණ කුඩා ප්‍රමාණයකි. මෙසේ රාජ්‍ය ආයතන සතු කොටස්, කොළඹ කොටස් වෙළෙඳ පොළ හරහා මහජනයාට නිකුත් කළහොත් එය රජයට මෙන්ම, එම ආයතනවලටද ප්‍රයෝජනවත් වනු ඇත. විශේෂයෙන්ම රජයට මුදල් අත්‍යවශ්‍ය මේ අවස්ථාවේදී එම මුදල උපයාගැනීමට මෙය සිදුකළ හැකි සහ සිදුකළ යුතු ක්‍රියාවලියක්ද වන්නේය.

 

සමාගම් සේවකයන්ටද කොටස් ප්‍රතිශතයක් ලබාදීම

 

මෙසේ කොටස් නිකුත් කිරීමක් සිදුවුවහොත් කොටස් මිලදී ගන්නා ‘මහජනයා’ කාණ්ඩ කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්, දේශීය සුළු පරිමාණ ආයෝජකයන් හෙවත් සාමාන්‍ය මහජනයා, දේශීය සමාගම්, විදේශීය තනි පුද්ගල ආයෝජකයන් සහ විදේශීය සමාගම් වශයෙනි.

 

ඒ අනුව, මහජනයා යන කාණ්ඩයට මෙම කණ්ඩායම් හතරම අයත් වේ. මෙහිදී, රජය සිදුකළ යුතු තවත් ප්‍රධාන ක්‍රියාවලියක් වන්නේ යම් කොටස් ප්‍රතිශතයක් එම සමාගම්වල සේවකයන්ටද ලබාදීමය. එවිට එම සේවකයන් එම සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. ඊට අමතරව, තමන් සතු කොටස් කොළඹ කොටස් වෙළෙඳ පොළ හරහා විකුණා ලාභයක් ලබාගැනීමටද එම සේවකයන්ට අවස්ථාව උදාවේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොටස් නිකුත් කිරීමේදී තම සේවකයන් වෙත කොටස් ලබාදුන් ආකාරය මෙහිදී සිහිපත් කළ හැකිය.

 

රජය සතු සමාගම්වලට අමතර ප්‍රතිලාභ හිමිවන ක්‍රියාවක්

 

මෙසේ රජය සතුව ඇති ආයතනවල කොටස් 10% ක් පමණ මහජනයා වෙත නිකුත් කිරීමෙන් එම ආයතනවලට ප්‍රතිලාභ කිහිපයක් ලැබිය හැකිය. අප ඉහතින් සඳහන් කළ එම ආයතනවල සිටින සේවකයන් සඳහා කොටස් හිමිවීම මින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයකි. ඊට අමතරව, එම ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහාද මෙසේ කොටස් නිකුත් කිරීමක් ප්‍රයෝජනවත් වනු ඇත. ලොව පුරා රාජ්‍ය ආයතන මෙසේ කොටස් නිකුත් කිරීම තළින් එම රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ දැමූ බවට සාක්ෂි බොහෝ ඇත. එමෙන්ම, එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාදීම තුළින් ඉහළ කාර්යක්ෂමතාවක් ලබාගැනීමට ඉවහල් වනු ඇත.

 

තවත් කාරණයක් වන්නේ එම ආයතනවල පාරදෘශ්‍ය භාවය ඉහළ නැගීමය. පසුගිය වසර කිහිපයේදී බොහෝ රාජ්‍ය සමාගම් දේශපාලනීකරණය වූ ආකාරය අපි දැක ඇත්තෙමු. උදාහරණයක් වශයෙන් ප්‍රබල තරුණ දේශපාලඥයෙකුගේ උපදෙස් අනුව සේවකයන් බඳවා ගැනීමට නොහැකි බව පවසමින් රාජ්‍ය බැංකුවක සභාපති ඉල්ලා අස්වූ ආකාරය වසර කිහිපයකට පෙර මාධ්‍ය තුළින් වාර්තා විය. යම් ආකාරයකින් මහජනයා සතුව 10 ක පමණ කොටස් ප්‍රමාණයක් පවතී නම්, ඔවුනටද එම ආයතනවල ක්‍රියාකාරීත්වයට සක්‍රීයව දායක විය හැකි බැවින් දේශපාලඥයන්ගේ උවමනාව මත එම රාජ්‍ය ආයතන හසුරුවාලීමට නොහැකි වනු ඇත. එය එම ආයතනවල කාර්යක්ෂමතාව මෙන්ම පාරදෘශ්‍යභාවයද ඉහළ දැමීමට හේතුවනවා සේම, අනවශ්‍ය දේශපාල ඇඟිලි ගැසීම් වළක්වා ගැනීමටද ඉවහල් වනු ඇත.

 

කොටස් වෙළෙඳ පොළේ නීතිරීති අනුව, කොටස් වෙළෙඳ පොළේ ඇති සෑම ආයතනයක්ම විගණනය කරන ලද වාර්ෂික වාර්තා, මූල්‍ය වර්ෂය අවසන් වී මාස 5 ක් ඇතුළත තම කොටස් හිමියන් සඳහා නිකුත් කළ යුතුය. නැවත සඳහන් කළ යුතු කාරණයක් වන්නේ මේවා විගණනය කරන ලද වාර්තා බවය. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළේ නීතිරීති අනුව කොටස් වෙළෙඳ පොළේ ඇති සෑම සමාගමක්ම තමන්ගේ ත්‍රෛමාසික වාර්තා තම කොටස් හිමියන් සඳහා නිකුත් කළ යුතුය. තවත් කරුණක් වන්නේ සමාගමේ කොටස් මිලට බලපාන ඕනෑම මිල සංවේදී කාරණාවක්, එම කාරණාව වූ සැණින් කොටස් වෙළෙඳ පොළට නිකුත් කළ යුතු වීමය. මෙම කරුණ සියල්ලෙන්ම සිදුවන්නේ එම සමාගමේ ව්‍යාපාරික පාරදෘශ්‍යභාවය හා යහපාලනය ඉහළ නැංවීමය. පසුගිය වසර කිහිපය තුළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකළ රාජ්‍ය ආයතන රැසක් පිළිබඳවද මාධ්‍ය වාර්තාවල පළවිය. යම් හෙයකින් මෙම රාජ්‍ය ආයතනවල කොටස් යම් ප්‍රමාණයක් මහජනයාට නිකුත් කර තිබුණේ නම්, එය එසේ සිදු නොවනු ඇත. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් ‘කොප්’ වාර්තාවලට අනුව බොහෝ රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් මෙන්ම, පාරදෘශ්‍යභාවයක්ද නැත. මීට හොඳම පිළියම නම් මහජනයා වෙත කොටස් නිකුත් කිරීමය.

වැඩි කොටස් ප්‍රතිශතයක් ලබාදීම අහිතකරයි

මෙහිදී ඇතිවන ගැටලුව නම් මෙම රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වෘත්තීය සමිති විසින් ඇතැම් විට, මෙය තම ආයතනය පෞද්ගලික අංශයට විකුණා දැමීමක් ලෙස උපකල්පනය කළ හැකි වීමය. නමුදු, එවැන්නක් සිදු නොවන්නේ, මුළු කොටස්වලින් 10% ක් වැනි ප්‍රමාණයක් මහජනයාට නිකුත් කිරීම තුළිනි. එහිදී, රජය මුළු කොටස්වලින් 90% ක ප්‍රමාණයක් තබාගත යුතු වේ. එසේ නොමැතිව රජය විසින් තමන් සතු කොටස්වලින් විශාල ප්‍රමාණයක් (උදාහරණයක් ලෙස 50% කට වැඩි ප්‍රමාණයක්) කොටස් වෙළෙඳ පොළට නිකුත් කළහොත් එය පෞද්ගලීකරණයක් වනු ඇත. මක්නිසාද යත් රජයට තම අයිතිය අහිමි වී එම සමාගමේ මුළු පාලන බලයම පෞද්ගලික අංශයට යන බැවිනි. එය රාජ්‍ය ආයතනවල පැවැත්මට හිතකර ක්‍රියාවලියක් නොවනු ඇත.

කොටස් වෙළෙඳ පොළ මුළු වටිනාකමද ඉහළ යෑමක්

කෙසේ වෙතත්, රජය විසින් මෙසේ රාජ්‍ය ආයතනවල කොටස්වලින් 10% ක් කොටස් වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබුවහොත් එය කොටස් වෙළෙඳ පොළ් පැවැත්මටද ඉතා වැදගත් වනු ඇත. ලංකා බැංකුව සහ මහජන බැංකුව වැනි රාජ්‍ය ආයතනවල කොටස්වලින් 10% ක් යනු ඉතා විශාල ප්‍රමාණයකි. එම කොටස් ප්‍රමාණය කොළඹ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකම හෙවත්, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඉහළ දැමීමට හේතු වනු ඇත. එමෙන්ම, එම ආයතනවල කොටස් මිලදී ගන්නා මහජනයා කොටස් වෙළෙඳ පොළට පැමිණීම තුළින් කොටස් වෙළෙඳ පොළේ ද්‍රවශීලතාවයද වැඩිවනු ඇත. එමෙන්ම, තවමත් කොටස් වෙළෙඳ පොළෙන් බැහැරව සිටින සාමාන්‍ය මහජනයාද කොටස් වෙළෙඳ පොළ තුළට එකතුකර ගැනීමට එය මහඟු අවස්ථාවක් වනු ඇත. මීට වසර 10කට පමණ පෙර සිදුකරනු ලැබූ ඩයලොග් සමාගමේ කොටස් නිකුතුවෙන් 30,000කට අධික සාමාන්‍ය මහජනයා කොටස් වෙළෙඳ පොළට පැමිණි ආකාරය මෙහිදී සිහිපත් කළ යුතුය.

මේ සමස්ත විග්‍රහය සාරංශ කළහොත්, රජයට මුදල් අවශ්‍ය නම් රජය විසින් සිදුකළ යුත්තේ මහජනයා හට නිසි දැනුමක් ලබාදී රජය සතු සමාගම්වල කොටස්වලින් 10% ක පමණ ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළ තුළට නිකුත් කිරීමය. එහිදී, අලාභ ලබන සමාගම් වෙනුවට ලාභ ලබන සමාගම්වල කොටස් නිකුත් කිරීම ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම, එම සමාගම්වල සිටින සේවකයන් මෙන්ම, වෘත්තීය සමිතීන්ද තේරුම්ගත යුතු කාරණයක් වන්නේ මෙය පෞද්ගලීකරණයක් නොවන බවය. මෙවැනි ක්‍රියාවලියකදී සේවකයන්ටද කොටස් හිමිවීමක් සිදුවුවහොත් ඔවුන්ද එම ආයතනයේ අයිතිකරුවන් වීම නොවැළැක්විය හැකිය.