උඩුවේ හිමිගේ ඇප ඉල්ලීම අද කැඳවයි

උඩුවේ හිමිගේ ඇප ඉල්ලීම අද කැඳවයි

නීත්‍යානුකූලව ලබාගත් බලපත්‍රයක්‌ නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගනිමින් ඇතිදැඩි කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇති උඩුවේ ධම්මාලෝක හිමියන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම අද (11 දා) සළකා බැලීමට කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඊයේ (10 දා) නියෝග කළේය.

 

අපවත්වී වදාළ අස්‌ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සැකකාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් යටතේ සහභාගි කරවන ලෙසද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

 

උඩුවේ ධම්මාලෝක හිමියන් ඇප මත මුදා හරින ලෙසට නීතිඥවරුන් කරුණු දක්‌වමින් කරනු ලැබූ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලමත් වෙමින් අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

 

පොදු දේපල පනත විෂයෙහිලා ගැනෙන පැමිණිල්ලක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටින කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් සැකකාර උඩුවේ ධම්මාලෝක හිමියන් ලබන 17 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසට අතිරේක මහෙස්‌ත්‍රාත නිශාන්ත පීරිස්‌ මහතා විසින් පෙරේදා (09 දා) නියෝග කර තිබිණි.