උඩුවේ හිමි බලන්න මහින්ද මහරට ඇවිත්

උඩුවේ හිමි බලන්න මහින්ද මහරට ඇවිත්

බලපත්‍ර රහිත ඇත් පැටවකු අනවසරයෙන් සන්තකයේ රඳවා තබා ගැනීම සම්බන්ධව රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින උඩුවේ ධම්මාලෝක හිමියන් බැලීම සඳහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10දා) දහවල් මහර බන්ධනාගාරය වෙත පැමිණියේය.
බන්ධනාගාර භූමියෙන් පිටත රැඳී සිටි මාධ්‍යකරුවන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.
අපි ආවෙ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො බලන්න. ඒ අවස්ථාවේ තවත් පොඩි හාමුදුරු කෙනෙක් මාසයක් තිස්සේ හිරේ ඉන්නව දැක්කා. උන්වහන්සේත් අපි බැලුවා. උඩුවේ ධම්මාලෝක හිමියන් කියන්නෙ මෑත කාලයේ ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ජනතාව අතර ඉතා ප්‍රසිද්ධියට පත් වුණ ස්වාමීන් වහස්සේ නමක්. උන්වහන්සේ වැනි හිමිවරුන් මෙහෙම අත්අඩංගුවට ගන්නකොට ජනතාවට රටේ ප්‍රශ්න නිකම්ම අමතක වෙනව.

 

මේවට කම්පාවෙන මිනිස්සු අනෙක් සියලු ප්‍රශ්න අමතක කරලා දානවා. අද වෙනකොට සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේගයට ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒ පංචමහා බලවේගයම ක්‍රමානුකූලව නීතිය පාවිච්චි කරමින් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් තමයි මේ ක්‍රියාත්මක කර තියෙන්නේ.
මේ රටේ දැවෙන ප්‍රශ්න රාශියක් තියෙද්දී මුළු සමාජයම බියවද්දල ඒ ප්‍රශ්න අමතක කරවල යට ගැසීම සඳහා කරන වැඩපිළිවෙළක කොටසක් තමයි මේක. බඩුමිල ගැන, වැඩි කළ වැට් එක ගැන අද ජනතාව කතා කරන්නේ නෑ. ඒව බලෙන් අමතක කරවන්න තමයි මේ වගේ දේවල් කරන්නෙ. මේ වගේ ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේනමක් අත්අඩංගුවට ගන්නකොට ජනතාව අද කතා කරන්නේ ඔවුන්ට ඇති කර තිබෙන ප්‍රශ්න ගැටලු ගැන නෙවෙයි මේ දේවල් ගැනයි. මේක රටේ ප්‍රශ්න යටගහන්න කරන වැඩපිළිවෙළක් ලෙසයි අපි දකින්නෙ.
මේ අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් සියලු දෙනාම බන්ධනාගාර භූමියෙන් ඉවත් කිරීමටද බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි.