කොන්දේසි කඩවුණොත් නඩුව අවසන් වන තුරු උඩුවේ හිමි බන්ධනාගාරයට

කොන්දේසි කඩවුණොත් නඩුව අවසන් වන තුරු උඩුවේ හිමි බන්ධනාගාරයට

ලි පැටවකු සිය විහාරස්‌ථානයේ අනවසරයෙන් තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කර සිටි උඩුවේ ධම්මාලෝක හිමියන්ට අපවත් වී වදාළ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක ගලගම අත්ථදස්‌සි නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයට වැඩම කරවීමට ඉඩකඩ සලසමින් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඊයේ (11 දා) පස්‌වරුවේ නියෝග කළේය.

ඇප කොන්දේසි කඩවුණොත් නඩු විභාගය අවසන් වන තුරු රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට නියම කරන බවට අවවාද කරමින් රුපියල් හැටලක්‍ෂය බැගින්වූ ශරීර ඇපකරුවන් තිදෙනකුගේ ඇප මත සැකකාර හිමියන් මුදාහැරීමට අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

රටේ පොදු දේපළ ආරක්‌ෂා කිරීම සැමගේ යුතුකම බවත්, යම් සැකකරුවකුගේ ජනප්‍රිය භාවය හෝ ගිහි පැවිදි භාවය ඇප නියම කිරීමේදී අධිකරණයට සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි නමුත්, අස්‌ගිරි නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය වැනි බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ අවස්‌ථාවකට සහභාගි වීමට ඉඩකඩ සැලසීමට තම අධිකරණය තීරණය කරන්නේ යෑයි පිටු 46 කින් යුත් සිය ඇප නියෝගය මගින් පෙන්වා දුන් අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා ඉහත නියෝගය කළේය.

සැකකාර හිමියන්ට ලබන 17 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා පසුගිය

9 වැනිදා නියෝග කොට තිබූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්න මහතා මෝසමක්‌ මගින් කරන ලද ඉල්ලීමක්‌ අනුව ඊයේ (11 දා) විවෘත අධිකරණයේ දී නඩුව කැඳවිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්‌ මහතා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වී. ආර්. එස්‌. නාගහමුල්ල, සහකාර පොලිස්‌ අධිකාරි නුවන් අසංග සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රත්නායක යන මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීහු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්න, අසිත විපුලනායක, කාංචන රත්වත්තේ, දිනේෂ් දොඩංගොඩ ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළහ.