ඒකාබද්ධ විපක්‍ෂයේ රැලිය අද හයිඩ් පිටියේදී

ඒකාබද්ධ විපක්‍ෂයේ රැලිය අද හයිඩ් පිටියේදී

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ‘ජන සටන’ විරෝධතා රැලිය අද (17 වැනිදා) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

රණවිරු දඩයම, එට්‌කා ගිවිසුම, ඡන්ද අයිතිය පැහැර ගැනීම, දේශපාලන පළිගැනීම් ඇතුළු කරුණු කිහිපයක්‌ මුල් කරගෙන මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබේ.

ජාතික නිදහස්‌ පෙරමුණ, මහජන එක්‌සත් පෙරමුණ, ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලුම පක්‍ෂ මෙන්ම දෙමළ හා මුස්‌ලිම් ජනතාව නියෝජනය කරන පක්‍ෂද, පළාත් පාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක්‌ මේ සඳහා සහභාගි වීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන, සෝමංවශ අමරසිංහ, විමල් වීරවංශ, වාසුදේව නානායක්‌කාර, මහාචාර්ය තිස්‌ස විතාරණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ද මේ අවස්‌ථාවට සහභාගි වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.