මහින්දට විනය පරීක්ෂණ

මහින්දට විනය පරීක්ෂණ

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිල අවසරයකින් තොරව අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයකින් යුතුව හයිඩ් පිටියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ‘ජන සටන’ මහා රැලියට සහභාගි වූ හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු තිස්‌හත් දෙනාට විරුද්ධව පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇත.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කියා සිටියේ පක්‍ෂයේ අවසරයකින් තොරව හයිඩ් පිටියේ පැවති රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ සහභාගිවීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවයි. ඔහු මෙසේ ද පැවසීය.

ඒ විතරක්‌ නෙමේ පක්‍ෂයේ උත්තරීතරම ආයතනය වන මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීන්දු තීරණ අභියෝගයට ලක්‌ කිරීමක්‌ වෙනවා. මෙමගින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කීර්ති නාමයට සහ අභිමානයට විශාල කැළලක්‌ සිදු වී තිබෙනවා.

මේ නිසා හයිඩ් පිටියේ රැස්‌වීමට අදාළ සත්‍ය තොරතුරු සියල්ල නිවැරැදිව අධ්‍යයනය කර පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය රැකගැනීම සහ ආරක්‍ෂා කිරීම අපේ වගකීමක්‌. එම වගකීම අපි නිවැරැදිව ඉටුකරනවා. පක්‍ෂය කඩන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ යෑයි ද ඇමැතිවරයා පැවසීය.